බඹරැල්ලේ සොදුරු දියඇලි | රහස් ඇල්ල (රාස්ස ඇල්ල) | හුළුගඟ ඇල්ල | ජෝඩු ඇල්ල | සාරි ඇල්ල | Waterfalls in Babaraella | SL Travel VIbes

 ශ්‍රී ලංකාව දුටුවන් වසග කරන විවිද ආකාරයේ සුන්දර  දියඇලි ගනනාවකින් හෙබිය. ඒවා අතරින් සමහරක් නිසලව කඩා හැලෙන නමුදු  සමහරක් භයානක සැඩ ජල ධාරාවලින් සමන්විත අතර ඒවා දැකිය හැක්කේ දුරන් සිට පමණි.

මෙම ලිපියෙන් කියන්න යන්නේ මහනුවර සිට බඹරැල්ල දක්වා වත්තේගම , පන්විල හරහා වැටී ඇති  මාර්ගයේ හමුවන සුන්දර දියඇලි කිහිපයක් පිළිබඳවයි.



1.රහස් ඇල්ල (රාස්ස ඇල්ල ) - Rahas Ella waterfall

වත්තේගම බබරැල්ල මාර්ගයේ චාරිකාව අරඹන විට පළමුව හමුවන්නේ රහස් ඇල්ල එහෙමත් නැත්නම් රාස්ස ඇල්ල ලෙසින් හදුන්වන මෙම කුඩා දියඇල්ලයි.වත්තේගම නගරයේ සිට 1.5 km පමණ දුරක් ගියවිට හමුවන කුඩා පාලම අසල වම්පසට වන්න මෙය පිහිටා ඇත.

රහස් ඇල්ල (රාස්ස ඇල්ල ) - Rahas ella (Rassa ella)

මෙම ස්ථානය තරමක් ගුප්ත ස්වාභාවයක් ගන්නා අතර මෙම දිය ඇල්ල සම්බන්ධ ජනප්‍රවාද කිහිපයක්ද පවතී. ඉන් එකක් නම් , හුදෙකලාව මෙහි දිය නෑම සදහා පැමිණිවිට ජලය පතුලේ යම් දීප්තිමත් වස්තුවක් දක්නට ලැබෙන බවත් එය ගැනීමට කිට්ටු වුවහොත් එම පුද්ගලයා වතුර ඇතුලට ඇදගන්නා බවත්ය . 
ඇත්තෙන්ම මෙම ස්ථානයේ කිහිප දෙනෙකු ගේ දිවි තොරවී ඇතිබැවින් ඔබ මෙම ස්ථානය නැරඹීමට යනවානම් මෙම ස්ථානයේ දියනෑම තරමක් අවධානම් බව සිහිතබා ගන්න.

ප්‍රධාන මාර්ගයේ අනෙක්පස  ( පාලමෙන් අනෙක්පස ) පහළට යාම සදහාද කුඩා මාර්ගයක් එම පාලමේසිට මඳදුරක් ( 50 m) වත්තේගම පැත්තට එනවිට පවතී. පහළට ගියවිට එම පාලම යටින්ද තවත් කුඩා සුන්දර දියඇල්ලක්ද දක්නට ලැබේ.

 විශාල වර්ශාවක් පවතින අවස්ථාවල මෙම ස්ථානයේ ජලමට්ටම එකවරම වැඩිවිය ඇකිබැවින් වැසි අවස්ථාවක මෙහි යනවානම් ඒ පිළිබඳවද සැළකිලිමත් වන්න.


2.හුළුගඟ ඇල්ල - Huluganga Waterfall

රහස් ඇල්ල පසුකරමින් බඹරැල්ල දෙසට පැමිණෙන විට දෙවනුවට හමුවන්නේ හුළුගඟ ගම්මානයේ හුළුගඟ පාලමට යටින් කඩාහැලෙන සුන්දර හුළුගඟ දියඇල්ලයි.


රහස් ඇල්ලේ සිට ආසන්න වශයෙන් 20 km ක පමණ දුරකින් හුළුගඟ දියඇල්ල පිහිටා ඇත. නකල්ස් කදුවැටියෙන් ආරම්භවන මෙම ගංගාව 75m පමණ උසකින් මෙම සථානයේදී පහළට කඩාහැලේ. ජනාකීර්ණ ස්ථානයක පිහිටා ඇති බැවින් මෙම දියඇල්ලේ සුන්දරත්වය හොදින් විඳගැනීමට නම් දියඇල්ල පාමුලට ලගාවීමට සිදුවේ.

දිය ඇල්ලට පහළින් නැරඹුම්  මැදිරියක්ද පන්නල ප්‍රාදේශීය ප්‍රාදේශීය සභාව මගින් ඉදිකර ඇත. එම නිසා  දිය ඇල්ල ලගටම ගිහින් එහි අසිරිය විදගැනීමට වාසානව උදාවෙන නමුත් දිය ඇල්ලේ දිය පහර තරමක් රළු ස්වාභාවයක් ගන්නා බැවින් එම ස්ථානයේ දියනෑම නම් එතරම් සුදුසු නොවේ.

අලකොල වත්ත , රත්නතැන්න ස්වාභාවික පිහිණුම් තටාකය  , තලිය වැටුනු ඇල්ල වැනි තවත් සුන්දර ස්ථාන රැසකට හුළුගඟ ගම්මානය ඔස්සේ ළඟාවිය හැක.




3. සාරි ඇල්ල - Sari Ella Waterfall

හුළුගඟ ඇල්ල පසුකරමින් තවත් 6 km පමණ දුරකින් බඹරැල්ල ගම්මානය පිහිටා ඇත. මෙම මාර්ගය තරමක් පටු සහ අබලන්ව පැවතියත් මාර්ගය දෙපසින් කුඩා දියදහරාවන් විශාල රුක්ගොමු ආදියෙන් බහුල වූ මනරම් දර්ශනය ඔබගේ සිත් ඇදබැඳගන්නා බවනම් නිසැකය .


බබරැල්ලට ආසන්න වනවිට ගස් අතරින් පතර ජෝඩු ඇල්ලද ඔබට දැකගනීමට හැකිවේ.

බබරැල්ල ගම්මානයේ බස් නැවතුම්පල අසලින් මාර්ගය දෙකට බෙදේ . ඉන් වම්පස ඉහළට දිවෙන කොන්ක්‍රීට් මාර්ගයේ තේ වතු අතරින් 2 km පමණ ගියවිට සාරි ඇල්ල හමුවේ . සාරි ඇල්ල අසලින්ම කොන්ක්‍රීට් මාර්ගය වැටී ඇති බැවින්  වාහනයකට උවද පහසුවෙන් සාරි ඇල්ල අසලටම ලගාවිය හැක.

කොටස් දෙකකින් සමන්විත මෙය ඈත සිට බැලූවිට ඇල්ලේ ඉහළ කොටස සාරියක පොට ලෙසත් පහළ කොටස සාරියක නෙරිය ලෙසත් මීටර 25 ක් පමණ උසකින් අපූරුවට කඩා හැලෙන බැවින් මෙයට මෙම සාරි ඇල්ල යන නම ලැබී ඇත. ඇල්ල පාමුල කුඩා තටාකයක් සේ වතුර රැස්වී තිබෙන බැවින් මෙම ස්ථානයේ දිය නෑමට උවද හැකියාව පවතී.

4.ජෝඩු ඇල්ල - Jodu Ella Waterfall

නැවතත් එම කොන්ක්‍රීට් මාර්ගය ඔස්සේ බඹරැල්ල බස්නැවතුම්පලට පැමිණ එතනින් අනෙක් පසට ඇති මාර්ගයේ දෙමළ අයගේ ගම්මානයක් අතරින් තමා ජෝඩු ඇල්ලට මාර්ගය වැටී තිබෙන්නේ. ජෝඩු ඇල්ලට කෙමෙන් කෙමෙන් සමීප වනවාත් සමගම කූඩැල්ලන්ගේ කරදරයද කෙමෙන් වැඩිවේ. වැසි දිනයක් නම් කූඩැල්ලන්ගේ කරදරය නිසා ඔබට ජෝඩු ඇල්ලට යාම එපාවීමට උවද  පුලුවන.



විශාල ගල් පර්වතයක දෙපසින් මීටර  50 ක පමණ උසකින් ජල දහරාවන් දෙකක් ලෙස මෙම ජෝඩු ඇල්ල පහළට කඩා හැලේ. ජෝඩු ඇල්ල පාමුලට පැමිණිය විට දැනෙන සීතල සුළගත් තෙත බරිත වූ  පරිසරයත් නිසා ඔබට අපූර්ව ආශ්වාදයක් විදගැනීමට ලැබෙන බවනම් නොඅනුමානය.

ඉතින් ඔබත් පරිසරයට ආදරය කරන අයෙකු නම් ඉඩක් ලැබෙන පළමු අවස්ථාවේම ඉතා සුන්දර දිය ඇලි සමූහයකින් සමන්විත මෙම බඹරැල්ල ප්‍රදේශයේ අසිරිය විදගැනීමට අමතක කරන්න එපා.

#babaraella #waterfalls #rahasella #hulugangaella #joduella #sariella #kandy #srilanaka #travel #travelvibes #sltravelvibes

photos by - Chathura Parakrama









Post a Comment

0 Comments